පොළොව සේ දරාගෙන ලෝකයක් පහන් කළ අම්මා...
· එයා යකඩ ගැහැණියක්...
· අපි පොඩි කාලෙ කවදාවත් රස කෑමක් කන්න නැතිව ඇති... දවසකට පැය 03ක් නිදාගන්න නැතිව ඇති
· කොල්ලො හය දෙනෙක් ඉන්න ගෙදරක්... එයා අපිව හැසිරෙව්වේ එක බැල්මෙන්...
සෑම අම්මා කෙනෙක්ම මහා සාගරයක් සේ ගැඹුරු බව දැනසිටියෙමි. එහෙත් ඒ අම්මා මගේම අම්මා වී මා අමතනවිට මට නොවැටහෙන අසීමිත හැඟීමක් මා එක් තත්පරයකට ගොළු කළේය.
“ පුතා මට අම්මා කියලා කතා කරන්න. “
ඒ මොහොතේ සිට මා ඇයගේ දුව වූවාය.
ඒ අම්මා ගැන ලියන්නට බොහෝ නිමිති මා ඉදිරියේ තිබිණි. අපි නායකයත්වයේ සැබෑ ආදර්ශ ප්‍රාර්ථනා කරමින් දුර්භික්ෂ වකවානු පසුකළ මිනිසුන්ය. අර්ජුණ රණතුංග අපට ලෝකය දිනාගෙන ගෙනැවිත් දෙන්නේ ඒ වකවානුවේය. විසිපස් වසරකට පෙර ඒ අවධියේ මා නොදරුවෙක් බව සැබෑය. එහෙත් එදා මේ රටේ ඉපදුණු අභිමානිත හැඟීමේ හැඟීම් අපේ ළදරු මනස් උත්තේජනය කළ අයුරු මතකය.
ඉන් අනතුරුව අර්ජුණගේ අම්මා නන්දනී රණතුංග මේ රටේ අතිමහත් බහුතරයකගේ ගෞරවණීය අම්මා වූ බව විශ්වාස කරමි.
ඒ තවත් එක් නායකයෙකුගේ අම්මා කෙනෙක් ලෙස නොවේ. ලෝකයට නායකත්ව පෞරුෂය මෙය යැයි කියා දුන් මෑත කාලීන ආදර්ශය ඇය අපට උපදවා දුන් නිසාය. ඒ අම්මා දැන් මා අභියසය. ඇය සිය අසීමිත අත්දැකීම මා සමග කියනු ඇතැයි විශ්වාසයෙන් දෑස් දල්වාගෙන සිටියෙමි.
“මගෙ පුතේ... මම බොහොම දැනුවත්ව මේ සාටෝපවලින් අයින් වෙලා ඉන්න කෙනෙක්. ගොඩක් දේවල් අත්හරිමින් නිස්කාංසුවෙ ජීවිතේ අවසාන වකවානුව ගෙවමින් ඉන්නෙ. ජීවිතේ ගෙවනකොට මිනිස්සුන්ට එන පොදු අභියෝගවලට මුහුණ දුන්නා. දරුවො හය දෙනෙක් හැදුවා. ඒ අය ලෝකයට ඉදිරියෙ ලොකු ජයග්‍රහණ අත් කරගත්තා. ඒගොල්ලො තවම පොඩි දරුවො වගේ මං එක්ක ඉන්නවා. ගුරුවරියක් විදිහට දරුවො ගානකට ඉගැන්නුවා. ඒ ඇරෙන්න මට මීඩියා එක්ක කතා කරන්න තරම් ලොකු දෙයක් නෑ.“ ඇය මට කියමින් සිටියේම ඒ ජීවිත දැක්මේ උපේක්ෂා සහගත ගැඹුරය. අවසානයේ දී අම්මා ඇය ගැන ඇයගේ දරුවන් හයදෙනා විමසා යම් වියමනක් කරන්නේ නම් ඒ සඳහා එකඟ වූවාය.
අනතුරුව ධම්මික රණතුංග, අර්ජුණ රණතුංග, නිශාන්ත රණතුංග, ප්‍රසන්න රණතුංග, සංජීව රණතුංග හා රුවන් රණතුංග සෝයුරන් හයදෙනා අම්මා ගැන කියන අතීත කතාව ඇසිය යුතුවිය. මෙතැන් සිට කියැවෙන්නේ අම්මා කෙනෙකුගේ අසීමිත සෙනෙහස අභියස වචන බොහොම පුංචි බව මටම තේරුම් කළ ඒ කතාවය.
ලංකාවේ සම්භාවිත දේශපාලනයක් කළ රෙජී රණතුංගගේ පුතුන් වූ මේ සෝයුරන් ගැන අපේ රටේ ඇත්තන්ට අමුතුවෙන් හඳුන්වා දෙන්නට අවශ්‍ය නැත. ධම්මික රණතුංග ඒ පවුලේ වැඩිමලාය. ගත කළ ළමා කාලයේ අම්මා ගැන ඇති පැරණිම මතක ඇත්තේ ධම්මිකටය.
“ පෙළ ගහන්න බැරි මතක ගොඩක්... “ ඔහු ඒ මතක අතර මොහොතක් ගොළු වනු දුටුවෙමි.
“මට දැණුනුම සිද්ධිය මම කියන්නම්. මට එතකොට අවුරුදු 15යි. 1977 දි ජේ.ආර්.ජයවර්ධන ආණ්ඩුව බලයට ආවා. විකල් වෙච්චි මිනිස්සු අපේ ගෙට පැන්නා. බඩු මුට්ටු කුඩු කළා. සියළුම දේවල් අත්හැරලා ඇඳගෙන හිටිය ඇඳුම පිටින් අපි හය දෙනයි අම්මයි එක්ක තාත්තා ගෙයින් පැනලා කොළඹ මාමගෙ ගෙදර ආවා. මට මතකයි අර්ජු එනකොට පොත් පත් ටික එක්ක බැට් එකත් ගන්නවා. “
“ අපි අන්ත අසරණ වෙලා හිටියෙ. ඒත් තාත්තා තිගැස්ම පෙන්නුවෙ නෑ. අම්මාත් හැමදේම දරාගෙන හිටිය වගේ පෙනුණා. මාමගෙ ගෙදර ඉඳන් තාත්තා කෝල් එක්ක ගත්තෙ ඒ අතරේ. කෝල් එකට ආන්සර් කරලා තාත්තා හිනාවෙලා ෆොන් එක තිබ්බා. ඒ ඇවිත් තිබුණෙ අපේ ගෙට ගිනි තිබ්බා කියන ආරංචිය. ඒ ආරංචිය අහපු ගමන් අම්මා කලන්තෙ දාලා වැටුණා. ඒ වෙලාවෙ මගෙ තාත්තගෙ ඇස් දෙකෙන් කඳුළු බේරුණා. රෙජී රණතුංග කියන්නේ ගොඩාක් දේවල් දරාගත්තු මිනිහෙක්. අත පය කුඩු වෙලා ඔළු පැළිලා මහා වේදනා වින්දත් කඳුලක් නොපෙන්නපු මිනිහෙක්.
“එදා මම මගෙ තාත්තගෙ ඇස්වල කඳුළු දැක්කා.“
ටික වෙලාවකින් අම්මා නැගිට්ටා. “ඔය හැම දෙයක්ම අපිට ආපහු හදා ගන්න පුලුවන් රෙජී..“ එයා තාත්තට කියනවා මතකයි. ඊට පස්සේ ඉඳන් අම්මා නැවත පුරුදු රටාවට ආවා.
මේ සිද්ධිය වෙලා දවස් දෙකින් අපිට රෝයල් එකත් එක්ක මැච් එකක් තිබුණා. මමයි අර්ජුණයි දෙන්නම සෙල්ලම් කරනවා මැච් එකට. ක්‍රිකටට් බඩු තියා ඉස්කෝලෙ ඇඳන් යන්න ඇඳුමක්වත් අපිට නෑ. අම්මා අලුතින් සුදු කලිසමයි කමිසෙයි මස්සවලා දීලා අපි දෙන්නව මැච් එකට යැව්වා. අභියෝග ඉස්සරහ ජීවිතේ අත්හරින්න එපා කියන එක අම්මා ඒ වෙලාවෙ අපිට නොකියා කියලා දුන්නා. මිනිස්සුන්ට අවශ්‍ය විදිහට අපව වට්ටන්න දෙන්න එපා කියන එක ඒත්තු ගැන්නුවා.“
“ඔබ හිතනව ද කොල්ලොම හය දෙනෙක් ඉන්න පවුලක දරුවො ටික පාලනය කරගෙන ඔවුන්ව ක්‍රීඩාවට යොමු කරලා, අධ්‍යාපන අවකාශ හදලා විනයක් ඇතිව හදන එක මොනතරම් යුද්ධයක් වෙන්න ඇති ද කියලා. දැන් කල්පනා කරලා බලනකොට ඒක ගැහැණියකට දරාගන්න පුලුවන් සීමාවක තිබුණ ද කියලා හිතෙනවා.“
ඔහුගේ මතකය ගලා යන්නට ඉඩ දුන්නෙමි.
“මම පොඩියි. මල්ලිලා ගොඩක්ම පොඩියි. අපි හය දෙනාම ක්‍රිකට් ගහනවා. උදේ හතට නැගිටලා කෑම හදලා, අපිව ලැස්ති කරගෙන අපි හය දෙනාම එක්ක උදේ 6.04 කෝච්චියෙ ඉස්කෝලෙ එනවා. හවසට ප්‍රැක්ටිස්. ප්‍රැක්ටිස් යන්න කලින් දවල් බත් හයක් අරන් එයා එනවා. උදේ පාන්දර නැගිටලා උයලා බැඳගන්න බත්මුල්. ඊට පස්සේ අපේ ක්‍රිකට් ප්‍රැක්ටිස් ඉවරවෙනකම් එයා දරුවොන්ට උගන්වනවා. ප්‍රැක්ටිස් ඉවරවෙලා අපි ගෙදර යන්නේ 7.30 කෝච්චියෙ. නවය පහුවෙනවා ගෙදර එනකොට. අපි ඇඟපත හෝදගෙන කාලා නිදාගන්නවා. ඒත් අම්මගෙ වැඩ එතැනින් ඉවර නෑ. මං හිතන්නෙ දොහලත් පහුවෙනවා නිදාගන්කොට... මගෙ අම්මා ඒක කළා දෙයියනේ...“ මම අසා සිටියෙමි.
ඇය ගුරුවරියකි. ආනන්දයේ අමතක නොවන භූමිකාවක් කළ ගුරුවරියකි. දරුවන් හය දෙනාම ආනන්දයේය. ලෝකය දිනන එකම ප්‍රවේශ මාර්ගය අධ්‍යාපනය බව කල්පනා කරමින් තමන්ගේ ඉටු නොවුන හීන දරුවන්ගෙන් දකින්නට හදන අම්මලා අතර ඒ අම්මා අපූරුය. ලෝක පූජිත ක්‍රිකට් නායකයෙක් ලංකාවට ලැබුණේ ඒ අපූරු අම්මාගේ චින්තන ගැඹුර නිසාය.
අර්ජුණ රණතුංග කතා කරන්නේ අම්මා කෙනෙක් විසින් ලෝකයම දිනාගත හැකි පෞරුෂයක් සහිත මහා දැවැන්තයෙක් නිර්මාණය කරන ආකාරය ගැනය.
“මට තවත් තියන ප්‍රශ්නයක් තමයි ඒ කාලෙ අම්මා කොච්චර වෙලාවක් නිදාගත්ත ද කියන එක. අදත් අපි හය දෙනා ඒ ගැන හොයනවා.“ අර්ජුන කතාව පටන් ගත්තේම එසේය.
“අපි ක්‍රිකට් ගැහුවෙ ක්‍රිකට්වලට මේ තරම් වෘත්තීය මට්ටමක නැති කාලෙක. තාත්තාගෙ කැමැත්තක් තිබුණා අපි ක්‍රීඩාවට බර නොවී අධ්‍යාපනය කරනව නම්. ඒත් අම්මා තමයි තාත්තට කිව්වෙ එයාල දක්ෂකම් පෙන්වන ක්ෂේත්‍රයෙන් එයාලට අනාගතය හදාගන්න දෙන්න කියලා. එයා කිව්වෙම අනිවාර්යයෙන් මූලික අධ්‍යාපන සුදුසුකම සාමාන්‍ය පෙළ. එය සමත් විය යුතුමයි. තමන් තෝරගන්න දේ මොකක් ද. එය කැපවීමකින් නැවැරදිවම කළ යුතුමයි කියන කාරණාව.“
“අම්මා අපේ අනාගතය ගැන බලපු විදිහ තමයි අපේ ජීවිත මේ තරම් වෙනස් කළේ. මම සිද්ධි දෙකක් කියන්නම්. “
“මගෙ පළවෙනි ටෙස්ට් මැච් එක ඉවර වෙලා... දැන් මම ජාතික කණ්ඩායමේ සාමාජිකයෙක්. අපිට පකිස්තාන් ටුවර් එකක් තිබුණා. ඒ ටුවර් එක යනකාලෙ මට උසස්පෙළ විභාගෙ වැටිලා තිබුණෙ. දැන් ලොකු අවුලක්. තාත්තායි ගුරුවරුයි කියනවා විභාගෙ කරන්න කියලා. ක්‍රිකට් සර්ලා කියනවා ටුවර් එක මිස් කරන්න එපා... දැන් මට නින්ද යන්නෙ නෑ.
“ දවසක් මම ඇඳේ පෙරළි පෙරළි ඉන්නකොට අම්මා මං ලඟට ආවා. ඇවිත් ඇහුවා ඇයි මොකද නින්ද යන්නෙ නැද්ද කියලා. ‘මම කිව්වා නෑ අප්පා. මාව හොඳටම පැටලිලා‘ කියලා. අම්මා මට ඒ වෙලාවෙදි මෙහෙම කිව්වා.“
“ඒ ලෙවල් කියන විභාගය ඕන වෙලාවක කරන්න පුලුවන්. හැබැයි දවස් ටුවර් එක ආයෙ නෑ... දවස් හතලිස් පහෙන් ඉවරයි. කල්පනා කරලා තීන්දුවක් ගන්න“ කියලා. ඒ වෙලාවෙම මම තීරණය කළා ඒලෙවල් පස්සෙ කරලා ටුවර් එක යන්න. අම්මා මට ඒ ඉඟිය දීලා මාව එතෙන්ට යොමු කළේ නැතිනම් ඇත්තටම මගෙ ක්‍රිකට් වෙනස් වෙන්න තිබුණා.“
මේක අනික් සිද්ධිය.
“පළවෙනි ටෙස්ට් මැච් එක ගහන වෙලාවෙදි මට ආව ලොකු ඇඩ් එකක්. මම කිව්වා මට ඕවා තේරෙන්නෙ නෑ අම්මා එක්ක කතා කරගන්න කියලා. ඒ අය ආව අම්ම හම්බවෙන්න. අම්මා හොඳට ඒ අයට සැලකුවා. තේ හදලා දුන්නා. ඊට පස්සෙ ඔවුන් ඔවුන්ගෙ යෝජනාව කළා. අම්මා කිව්වෙ එක දෙයයි. “
“My son is not for sell“
“එදා රෑ අම්ම මගෙ ලඟට ආවා. ඇවිත් මට කිව්වා ‘මනුස්සයෙක් විදිහට තමන්ගෙ දක්ෂතාවය ලස්සන මුදල් හම්බ කරන්න අමු අමුවෙ විකුණන්න එපා‘ කියලා. චැරිටි ඇඩ් එකකට ගියාට එදා ඉඳලා මම කවදාවත් ඇඩ් එකකට හිටියෙ නෑ මුදල් හම්බරකරන්න.“
ඒ ඇය පෞරුෂවත් ප්‍රතිපත්ති ගරුක මනුෂ්‍යයෙක් ගොඩනැගූ අයුරුය. ඔහු ලෝකයට මහා ශක්තිවන්තයෙක් බව සැබෑය. එහෙත් තවමත් අර්ජුණගේ හයිය ඒ අම්මාය. “ අම්මා අපිට නිදහස දුන්නා. තාත්තගෙ දේශපාලනය අපේ ජීවිත ඇතුළට කාන්දු වෙන්න දුන්නෙ නෑ. නිවැරදි දේ සම්බන්ධව සංවාද ඇතිකළත් අපි ක්‍රිකට්වලින් පස්සෙ දේශපාලනය කරනවට ඇය මතවාදීමය වශයෙන් කැමති උනේ නෑ.“ අර්ජුණ කියන්නේය. ඒ අම්මා මොනතරම් නිවැරදි දැයි යළිත් වරක් මම කල්පනා කළෙමි.
නිශාන්ත රණතුංග මේ මොහොතේ අම්මා සමග වැඩි වශයෙන්ම ගැටෙන දරුවාය. ඔහු කියන්නේ අශීලාචාර සමාජ පලිගැනීම් ව්‍යසන මැද උවද වෛර නොකර ජීවත් වීමට අම්මා ඉගැන්වූ ආකාරය ගැනය.
“ 77 දි අපිට සියලුම දේ නැතිවෙලා ආර්ථිකව සුණු විසුණු වෙලා නෑදෑ ගෙවල්වලින් ගෙවල්වට මාරු වෙවී හිටපු කාලයක් තිබුණා. විශ්වාස කරන්න. අම්මයි තාත්තයි එක්ක අපි අට දෙනාම හිටියෙ නෑදෑ ගෙවල්වල එක කාමරයක් ඇතුළෙ ගුලි ගැහිලා. ඒත් කවදාවත් අම්මා අපේ හිත්වල වෛරී හැඟීම් ඇතිවෙන්න දුන්නෙ නෑ. ඒ හැම දේම ජීවිත අභියෝග ලෙස ගන්න විදිහ ඇය කියලා දුන්නා. නොකළ වරදකට 2016 මාව බන්ධනාගාරගත කරද්දි අම්මා තමයි ඒකට මුහුණ දෙන්න මට ශක්තියක් වුනේ. “
“ මගෙ අම්මා යකඩ ගෑණියෙක්.“ නිශාන්ත සියල්ල සාරාංශ කළේය.
ප්‍රසන්න රණතුංග දැන් මේ රටේ සංචාරක ඇමතිවරයාය. සියල්ල දරාගෙන සිය දරුවන්ව හැසිරවූ ඒ අයෝමය ගැහැණිය සම්බන්ධ ප්‍රසන්නට විශේෂ කතාවක් කියන්නට තිබේ.
“ අම්මා කියන්නෙ දෙනෝ දාහකගෙ ඇස් පාදපු ගුරුවරියක්. ටියුෂන් එක්ක දීලා සතයක් ඉපයුවෙනැති ගුරුවරියක්. තවමත් අම්මා එයා ඉන්න තැන ගෑණු ළමයි තුන්දෙනෙක් නවත්තගෙ කන්න බොන්න දීලා බලා ගන්නවා. එයාගෙ තියෙන්නෙ පැතිරුණු මහා කරුණාවක්. අම්මාගෙ තිබුණු වැදගත්ම දේ තමයි ශික්ෂණය සඳහා දරුවෙකුට ගුරුවරයෙක් කරන දඬුවමට එරෙහි නොවීම. ඒ වගේම දරුවන්ට තමන්ගේ තෝරාගැනීම කරන්න අවශ්‍ය ඉඩ ලබා දීලා ඒ ඔස්සේ යන්න මග පෙන්වීම. “
“එක සිද්ධියක් කියන්නම්. එතකොට මට වයස අවුරුදු 12යි. මට ඔස්ට්‍රේලියන් ස්කොල් එක්ක ආවා. ඒ කාලෙ රටකින් රටකට යනවා කියන්නෙ මහා වික්‍රමයක් වගේ වැඩක්. මට ඉංග්‍රීසිත් බෑ. තාත්ත මේ ගමනට මම යනවට කැමති නෑ. ඒ වෙලාවෙ අම්මා කිව්වෙ එහෙම.
‘ නවත්තන්න එපා රෙජී... මෙයාට ඒ අත්දැකීම ගන්න දෙමු‘
මම ඒ ගමන ගිහින් ආවා.
ඔහු මොහොතක් නිහඬව සිටියේය. “ එයා පිටිපස්සෙන් ඉඳලා අපට මග පෙන්නුවෙ නැතිනම් මම දන්නෙ නෑ අපි කොතන ඉඳී ද කියලා. “
සංජීව රණතුංගට අම්මා ගැන දැනෙනසුළුම මතකය බැඳී ඇති සිදුවීම කටුක අතීතය හා බැඳුනකි.
“මට හැමදාම එක දෙයක් මතක් වෙනවා. ඒ තමයි මගෙ අත්දෙක අල්ලගෙන අම්මා අපිව ගම්හප ඉඳන් කෝච්චියෙ කොළඹ එක්ක ගිය ගමන.“
“දරුවො වෙනුවෙන් අම්මා කෙනෙක් ජීවිතය මිරිකලා දිය කරන විදිහ ගැන දැනගන්න අපේ අතීතයට යන්න ඕන. ඒත් ඒ ගත වෙච්චි හැම මොහොතක්ම ආපහු හැරිලා බලද්දි මිහිරක්. අම්මගෙන් මම ගත්තු වැදගත්ම දේ තමයි ඇත්ත වෙනුවෙන් පෙනී ඉන්න එක. ඒ වෙනුවෙන් සටන් කරන එක. ජීවිතය කියන්නෙ මුදල් නොවෙයි කියලා ඇය කියලා දුන්නු ජීවිත පාඩම. අපට පුරුදු කළ විනය. රෑ 10න් පස්සෙ ගෙදරට එන්න බෑ. විශ්වාස කරන්න... විවාහ උනාට පස්සෙත් අම්මා කෝල් කරලා බලනවා අපි දහයෙන් පස්සේ තැන් තැන්වල රස්තියාදු වෙනව ද කියලා.“ ඔහු සිනාසුනේය.
රුවන් රණතුංග පවුලේ බාලයාය. ඔහු අම්මා ගැන කී බොහෝ මතක අවසානයේ දී සංවේද වචන කීපයකින් කෙටි කළේය. “මම මගේ බිරියට දරුවන්ට ආදරෙයි. ඒත් ඒ හැමොටම වඩා මම අම්මට ආදරෙයි. එයා අපිව ගොඩනගන්න විඳපු වේදනා ගැන මම කියන්න යන්නෙ නෑ. එකම කතාවක් කියන්නම්. අම්මා ඒ කාලය ඇතුළෙ කවදාවත් රස කෑමක් කන්න නැතිව ඇති. අවුරුද්දකට සැරයක්වත් සාරියක් ගන්න නැතිව ඇති. පැය හතරක් නිදාගන්න නැතිව ඇති.“ ඒ අසීමිත කතා බහ නිමාකළ මොහොතේ සිට මම හුදකලාව කල්පනා කරමි.
ඒ දරුවන් මෙන්ම අම්මාත් මොනතරම් වාසනාවන්ත විය හැකි ද?. මහා පෞරුෂවත් ඒ දරුවෝ අම්මා ගැන වූ සංවේදී මතක අතර බොඳවුණු දෑස් සහිතව ඉකිය සඟවාගැනීමට තතනනු දුටුවෙමි. ජීවමානව හිඳින ඇය වෙනුවෙන් කළ හැකි සියලු සත්කාරයන් කර ගෙවාගත නුහුණු ණයක් පිළිබඳ මානුෂීය කම්පනයක පසුවනු දුටුවෙමි.
භෞතික අපේක්ෂාවන් වෙනුවෙන් කාර්ය බහුලවෙන බොහෝ මිනිස්සුන්ට මේ වග ලියා තබන්නට සිතුවෙමි.
මවක් කෙරේ උපදින පිරී ඉතිරෙන දරු සෙනෙහස දකින්න ඇවැසි නම් ඒ ගෙදර ගොඩ වී එන්න.
Comments
Post a Comment